top of page
Search

සුළි කුණා­ටු­වෙන් සෙවණ අහිමි වූ කුරු­ල්ල­න්ටත් ගෙවල්

  • Writer: Plant Administration
    Plant Administration
  • 4 hours ago
  • 5 min read


මේ දින­වල මඳක් විම­සි­ල්ලෙන් කුරු­ල්ලන්ගේ චර්යා­වන් නිරී­ක්ෂ­ණය කළ­හොත් අපූරු යමක් ඔබේ නෙත ගැටෙනු ඇත. ඔබේ ගෙවත්තේ නිතර දකින දෙම­ළි­ච්චන්, මයි­නන්, බට්ටිච්චන්, ගිර­වුන් වැනි කුරු­ල්ලන් මේ දින­වල වැඩි වශ­යෙන් යුවළ වශ­යෙන් සැරි සර­මින් ප්‍රේමා­ලිං­ග­නයේ යෙදෙන අයු­රුත් කඩි­මු­ඩියේ කූඩු තනන අයු­රුත් දැක­ගත හැකිය. ඊට හේතුව මේ කාලය මෙරට කුරු­ල්ලන්ගේ ප්‍රධාන අභි­ජ­නන සමය හෙවත් බිත්තර දමන සමය වීමය. මේ කාල­යේදී ඔවුන් බිත්තර දැමී­ම­ටත් ඒවා සුර­ක්ෂි­තව තබා­ගැ­නී­ම­ටත් තම­න්ගේම කැදැ­ල්ලක් තනා ගැනී­මට වෙහෙ­සෙන්නේ මිනි­සුන් කැදලි තැනී­මට ගන්නා වෙහෙස සිහි කර­මිනි.


කුරුලු කැදැ­ල්ල­කට එප­මණ වටි­නා­ක­මක් තිබු­ණද දැන් දැන් කුරු­ල්ලන්ට ද කැදැ­ල්ලක් තනා­ගැ­නීම ගැට­ලු­වක් වී ඇතැයි කිව­හොත් ඇතැම් විට ඔබ මවි­ත­යට පත්වනු ඇත. “කුරු­ල්ලන්ට කූඩු හදන්න කාගෙන් තහ­න­මක්ද? ඕනෙ ගහක, ඕනේ තැනක, ඕනෙ වෙලා­වක හදා­ගන්න බැරියැ..”කියා ද ඔබ පව­සනු ඇත. එහෙත් කුරුලු කැදැලි ගැන අප බොහෝ දෙනකු නොදන්නා අමුතු කතා­වක් ඇත.


“ලෝකය පුරා ඉන්න විවි­ධා­කාර කුරුල්ලෝ කූඩු හදන්නෙ විවිධ ආකා­ර­ය­ටයි. රාජා­ලියෝ, කාක්කෝ වගේ කුරුල්ලෝ ලොකු කෝටු­ව­ලින් කූඩු හද­නවා. කොණ්ඩ කුරුල්ලෝ, දෙම­ලිච්චෝ සාමාන්‍ය කූඩු හද­නවා. වී කුරුල්ලෝ, සූටික්කෝ, බට්ටිච්චෝ වගේ කුරුල්ලෝ මකුළු දැල්, පර­ඬැ­ල්ව­ලින් එල්ලෙන කූඩු හද­නවා. ඒ අතරේ බිම බිත්තර දාන කුරුල්ලෝ සහ බෙන­වල බිත්තර දාන කුරු­ල්ලොත් ඉන්නවා. ඒ අතර විශේ­ෂම කාර­ණය, බෙන­වල බිත්තර දාන කුරු­ල්ලන්ට බෙන අවශ්‍ය වුණාට හැම කුරු­ල්ලෙ­කු­ටම බෙන හාර­ගන්න බැහැ.


ලෝකයේ කුරුලු ජාති දෙක­කට විත­රයි තම­න්ටම කියලා ගහක බෙන හාරන්න පුළු­වන්. ඒ තමයි කෑරල්ලු (Woodpeckers) සහ කොට්ටෝ­රුවෝ (Barbets). මේ විශේෂ දෙකට අයිති කුරුල්ලෝ 200ක් විතර ලෝකයේ ඉන්නවා. නමුත් බෙන­වල ජීවත් වුණත් තමන්ට කියලා බෙන හාර­ගන්න බැරි ගිරව්, මයිනෝ, සැල­ළි­හි­ණියෝ, බස්සෝ, පණු­කු­රුල්ලෝ, තුඹ සේරා වගේ කුරුලු වර්ග ගොඩක් ගොඩක් ඉන්නවා. ඒ කාට­ව­වත් තමන්ට කියලා බෙන­යක් හාර­ගන්න බැහැ වගේම බෙන­වල පිටත බිත්තර දාන්නත් බැහැ. නමුත් කෑරල්ලු සහ කොට්ටෝ­රුවෝ බෙන හාරන නිසා අපට ඔවුන් ‘පරි­සර පද්ධති ඉංජි­නේ­රුවෝ’ කියලා හඳුන්වන්න පුළු­වන්. ඔවුන් නැති වුණොත් බෙන­වල ජීවත් වන වෙනත් කුරු­ල්ලන් ඇතුළු සතු­න්ටත් ඉන්න තැන් නැති වෙනවා.


ඕනෑම පරි­සර පද්ධ­ති­යක බෙන­ව­ලට ලොකු ඉල්ලු­මක් තියෙ­නවා. ඒක නිකම් නග­ර­වල ‘අපා­ර්ට්මන්ට්’වලට තියෙන ඉල්ලුම වගේ එකක්. කෑරල්ලු සහ කොට්ටෝ­රුවෝ බෙන හදන්නේ තමන් වෙනු­වෙන් විත­රක් නෙවෙයි. එක බෙන­යක් හැදු­වාම ඒ මත ජීවන චක්‍ර­යක්ම ක්‍රියා­ත්මක වෙනවා. මුලින්ම ඒ බෙනය හදපු කෑරලා හෝ කොට්ටෝ­රුවා ඒක පාවිච්චි කර­නවා. ඊළ­ඟට ගිරව්, මයිනෝ වගේ කුරුල්ලෝ ඒ බෙනේ බලෙන් අල්ල­ග­න්නවා. කාල­යක් ගිහින් බෙනේ කට ලොකු වුණාම බස්සෝ, බක­මූණෝ වගේ සත්තු පදිංචි වෙනවා. ඊට පස්සේ ලේනුන්, මීයන්, උගු­ඩුවෝ වගේ ක්ෂීර­පායී සතුන් පදිංචි වෙනවා. අව­සා­න­යේදී මේ බෙන­වල මී මැස්සෝ, ගෙම්බෝ, සර්පයෝ සහ මකු­ළුවෝ වගේ සතුන් පදිංචි වෙනවා. බෙනේ තියෙන ගහ කඩා­ගෙන වැටෙ­න­කම්ම ඒ විදි­හට විවිධ සත්තු ඒ බෙනේ පාවිච්චි කර­නවා. නමුත් දැන් මතුවී තිබෙන ගැට­ලුව ඒ පාරි­ස­රික වැද­ග­ත්කම අහිමි වීමේ අව­දා­න­මක් මතුව තිබී­මයි. ඒ කියන්නේ පරි­සර පද්ධ­ති­යක බෙන සෑදිය හැක්කේ කෑර­ලුන්ට සහ කොට්ටෝ­රු­වන්ට පම­ණක් වුවත් පරි­ස­ර­යෙන් විශාල ගස් ඉවත් වීම නිසා ඔවුන්ගේ ගහ­ණය අඩු වෙමින් තිබෙ­නවා. මේ හේතු­වෙන් බෙන මත යැපෙන ආවේ­ණික කුරුළු විශේෂ 10කට පමණ සහ ආවේ­ණික වවු­ලන්, ලේනුන්, ගෙම්බන් සහ මී මැස්සන් වැනි සතුන් රැස­කට ජීවත් වීමට සහ බිත්තර දැමී­මට ස්ථාන අහිමි වෙමින් තිබෙ­නවා.”


ඒ විශේෂ අනා­ව­ර­ණය සිදු­කළේ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ සත්ව විද්‍යා අංශයේ මහා­චාර්ය සම්පත් සෙනෙ­වි­රත්න ය. කුරු­ල්ලන්ට කැදැලි තනා­ගැ­නීමේ දුෂ්ක­රතා මතුව ඇතැයි අප මුලින් කී කතාව කොත­රම් සත්‍ය­ය­ක්දැයි මහා­චා­ර්ය­ව­ර­යාගේ ඒ අනා­ව­ර­ණ­යෙන් හෙළි වේ. එසේ නම් ‘පරි­සර පද්ධති ඉංජි­නේ­රුවෝ’බඳු කෑර­ලුන් සහ කොට්ටෝරු ගහ­නය අඩු වී ඇත්තේ ඇයිද යන්න ඊළ­ඟට මතු­වන පැන­යයි.


“ඔවුන් බෙන හාරන්න තෝරා ගන්නේ විශාල වැඩුණු ගස්. නග­ර­වල මෙවැනි ගස් කපා දැමීම හෝ සුළ­ඟට කඩා වැටීම නිසා වාස­ස්ථාන අහිමි වීමෙන් ඔවුන්ගේ ගහ­නය අඩු වෙමින් තිබෙ­නවා. උදා­හ­ර­ණ­යක් විදි­හට නග­ර­වල ගිරව් අඩු වීමට කෑරලු ගහ­නය අඩු වීමත් හේතු­වක්.”


මහා­චාර්ය සම්පත් සෙනෙ­වි­රත්න පව­සන්නේ ඒ පිළිබඳ දීර්ඝ­කා­ලීන අත්දැ­කීම් ඇසු­රිනි. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ සත්ව විද්‍යා අංශයේ මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස කට­යුතු කරන අතර, වසර 130ක් පැරණි වන­සත්්ව හා ස්වභාව ආර­ක්ෂණ සංග­මයේ (WNPS) උප සභා­ප­ති­ත්වය ද දරන මහා­චාර්ය සම්පත් සෙනෙ­වි­රත්න ඉහත කී ගැට­ලු­වට විස­ඳු­මක් යෝජනා කිරී­මෙන් නොනැ­වතී එය ක්‍රියා­ත්මක කර­න්නට ද මුල් වී ඇත.


” සර­ලව කිය­නවා නම් මෙය කුරු­ල්ලන්ට ගෙවල් හදලා දෙන වැඩ­ස­ට­හ­නක්. දැනට ලංකාවේ වන වගා සහ ගෙව­තු­වල විශාල වැඩුණු ගස් අඩු නිසා කෑර­ලුන්ගේ ගහ­නය අඩු­වෙ­මින් යනවා. එම නිසා බෙන පරි­හ­ර­ණය කරන කුරු­ල්ලන්ට සහ අනෙක් සතුන්ට වාස­ස්ථාන අහිමි වෙනවා. ඒ නිසා අපි වැඩ­ස­ට­හ­නක් පටන් ගත්තා නොමේරූ පරි­සර පද්ධති සහ වතු ගෙව­තු­වල කෑර­ලුන්ගේ බෙන­ව­ලට සමාන ලීව­ලින් හැදූ ‘නෙස්ට් බොක්සස්’ (Nestboxes) හෙවත් කැදලි පෙට්ටි සවි කරන්න. ගස්වල අඩි 10-15ක් උසින් වතු,ගෙවතු සහ වනා­න්ත­ර­වල මේවා සවි කිරී­මෙන් මයිනෝ, ගිරව් වගේම සැල­ලි­හි­ණියෝ, කෑදැත්තෝ ඇතුළු බෙන පරි­හ­ර­ණය කරන සියලු සතුන් එහි ගෙන්වා­ගෙන ඒ පරි­සර පද්ධ­තිය නැවත ඇති කරන්න පුළු­වන්. පරි­සර පද්ධ­තිය වැඩි දියුණු කිරීමේ, එහි ගුණා­ත්මක බව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘ­ති­යක් ලෙස දැනට අපි මෙය තෙත් කලා­පයේ වන වගා ව්‍යාපෘති ආශ්‍රි­තව ක්‍රියා­ත්මක කර­නවා. මෙම ක්‍රියා­ව­ලිය හරි­යට අත­හැර දැමූ නිවෙ­ස­කට ක්‍රම­යෙන් නැවත පදිං­චි­ක­රු­වන් පැමි­ණෙන ක්‍රියා­ව­කට සමා­නයි. මේ කෘත්‍රිම කැදලි ව්‍යාපෘ­තිය පටන් ගත්තේ ජෛව පරි­සර පද්ධ­ති­වල ඇති පහ­සු­කම් වර්ධ­නය කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් විදි­හට වගේම කුරු­ල්ලන්ට සහ බෙන­වල බිත්තර දාන, පැටව් හදන, ජීවත් වෙන සතුන්ට යටි­තල පහ­සු­ක­මක් විදි­හට සහ ඔවුන්ගේ පැවැත්ම තහ­වුරු කර­න්නයි. ”


මහා­චාර්ය සම්පත් සෙනෙ­වි­රත්න පව­සන පරිදි වන­සත්ව හා ස්වභාව ආර­ක්ෂණ සංග­මයේ ‘PLANT’ (Preserving Land and Nature Trust) ව්‍යාපෘ­තිය යටතේ රජයේ වනා­න්තර අතර හුදෙ­කලා වී ඇති තෙත් කලා­පීය වනා­න්තර යා කර­මින් ජීව විද්‍යා­ත්මක කොරිඩෝ නිර්මා­ණය කිරීම මෙහි ප්‍රධාන අර­මු­ණයි. මේ සඳහා මූල්‍ය දාය­ක­ත්වය ස්පා සිලෝන් ආය­ත­නය දරන අතර, විද්‍යා­ත්මක හා තාක්ෂ­ණික උප­දේ­ශ­නය සප­යන්නේ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ සත්ව විද්‍යා අංශයේ මහා­චාර්ය සම්පත් සෙනෙ­වි­රත්න ඇතුළු පර්යේ­ෂණ කණ්ඩා­ය­මයි. කැදැලි පෙට්ටි සවි කිරීම විශ්ව­වි­ද්‍යාල සිසුන් විසින් සිදු කරනු ලබයි. තෙත් කලා­පීය පුරාම මේ වන විට කැදැලි පෙට්ටි (Nest boxes) 250ක් පමණ ස්ථාපිත කර ඇති අතර, ජන­වාරි මැද සිට මාර්තු මැද දක්වා පව­තින මෙරට ගෙවතු ආශ්‍රිත සහ වනා­න්තර කුරු­ල්ලන්ගේ ප්‍රධාන අභි­ජ­නන සමය ඇර­ඹී­මට පෙර එනම්, පසු­ගිය දෙසැ­ම්බර් මාස­යේදී ඒවා ස්ථාපිත කර ඇත.


” මේ කෘත්‍රිම කැදැලි පෙට්ටි සවි කරන්න කලින් අපි මුලින්ම පරීක්ෂා කරලා බල­නවා, එය සවි කරන ගසේ උස, වට ප්‍රමා­ණය සහ දිශාව සහ එම කැදැ­ලි­වල පදිංචි වී සිටින සතුන් වර්ගය සහ ප්‍රමා­ණය ගැන. සවි කළාට පසුත් මාස තුන­ක­ටම සැර­යක් අපි ඒ හැම එකක්ම පරීක්ෂා කරලා බල­නවා, මොන වගේ ලක්ෂ­ණද තියෙන්නේ, කවුද පදිංචි වෙලා තියෙන්නේ, කොප­මණ ප්‍රමා­ණ­යක් පදිංචි වුණාද? කියලා. ඒ විදි­හට අවු­රුදු දෙකක් පරීක්ෂා කර­නවා. ඒ අනුව අපිට අව­බෝ­ධ­යක් ලබා­ගන්න පුළු­වන් මේ බෙන­වල ප්‍රාථ­මික පදිං­චි­ක­රු­වන්, ද්විතී­යික පදිං­චි­ක­රු­වන් සහ තෘතී­යික පදිං­චි­ක­රු­වන් කවුද කියලා. සර­ලව කිය­නවා නම් මේ එක කැදැ­ල්ලක් ‘ඇනෙක්ස් එකක් වගේ. ඒ ඇනෙක්ස් එකට ඉස්සෙල්ලා එන්නේ කවුද? දෙවැ­නි­යට එන්නේ කවුද? තුන්වැ­නි­යට එන්නේ කවුද කියලා බලා­ගන්න පුළු­වන්. ඒ දැනුම පාවිච්චි කරලා අපි බලා­පො­රොත්තු වෙනවා ලංකාව පුරාම මේ ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කරන්න.”


මීට වස­ර­කට පමණ පෙර සිදු කළ නියමු ව්‍යාපෘ­ති­ය­කදී සවි කළ කැදැලි 50කින් 20ක්ම සාර්ථක ලෙස සතුන් විසින් භාවිත කර ඇති අතර, ආවේ­ණික බස්සන්, මයි­නන්, මී මැස්සන් සහ ලේනුන් එහි පදිංචි වී සිටි බව තහ­වුරු වී ඇති බව ද මහා­චාර්ය සම්පත් සෙනෙ­වි­රත්න පැවැ­සීය.


“බොහෝ අය හිත­නවා රට ලස්සන වෙන්න නම් ගස් විත­රක් තිබු­ණාම ඇති කියලා. නමුත් ඒ ගස්වල ඉන්න සත්තු ඇතුළු පරි­සර පද්ධ­ති­යම ලස්සන කරන්න ඕනේ. ඒක කරන්න නම් පරි­සර පද්ධ­තියේ සියලු අංග අපි එයට එකතු කළ යුතුයි. මුහුණ ලස්සන කරන්න කරාබු, මාල වැනි ආභ­රණ පල­ඳි­නවා වගේ ගසක සවි කරන කෘත්‍රිම කැදැ­ල්ලක් කියන්නේ එම ගසට සහ මුළු පරි­සර පද්ධ­ති­ය­ටම පල­ඳ­වන “ආභ­ර­ණ­යක්” වගෙයි. එය ගසේ වගේම මුළු පරි­ස­ර­යේම අලං­කා­රය සහ සජීවී බව වැඩි කර­නවා. කුරුල්ලෝ ඉන්න කැදැ­ල්ලක් ගහ­කට වගේම ගෙව­ත්ත­ටත් ලොකු වටි­නා­ක­මක්. එයින් පරි­සර පද්ධ­ති­යම රැකෙ­නවා. මීමැ­ස්ස­න්ටත් බෙන අව­ශ්‍යයි. මී මැස්සෝ නැත්නම් අපිට පල­තුරු, එළ­වළු කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ගෙව­ත්තක මී මැසි ජන­ප­ද­යක් තියෙ­නවා නම් එහි වටි­නා­කම වැඩියි. පරි­සර පද්ධ­තියේ වටි­නා­කම් වැඩි කිරීමේ පද­නම මතයි අපි මේ වැඩ­පි­ළි­වෙළ කර­ගෙන යන්නේ.


පසු­ගිය දින­වල පැවති සුළි­සු­ළඟ නිසා වැඩුණු විශාල ගස් රාශි­යක් විනාශ වුණා. විවිධ මානව ක්‍රියා­කා­ර­කම් නිසා අග­නු­ව­රත් වැඩුණු ගස් අතු කපලා අයින් කර­නවා. ඒ ක්‍රියා­ව­ලි­යේදී ඒ ගස් ආශ්‍රි­තව ජීවත් වෙන සතුන්ට ඉන්න හිටින්න තැන් නැති වෙනවා. ඒක­ටත් යම් සහ­න­යක් විදි­හට අපි මේ වැඩ­ස­ට­හන ලංකාව පුරා තෙත් කලා­පයේ දිග­ටම කර­ගෙන යන්න බලා­පො­රොත්තු වෙනවා. ” මහා­චාර්ය සම්පත් සේනා­රත්න පව­සන්නේ කුරුලු ප්‍රජාව ඇතුළු සමස්ත පරි­සර පද්ධ­තිය පිළි­බ­ඳව ළතෙත් හදිනි. ඔහු ඇතුළු කණ්ඩා­යමේ වෑයම ඒ වෙනු­වෙනි.


This article first appeared in the Silumina on the 3rd of January 2026.

 
 
 

Comments


OUR MISSION >

Preserving Land and Nature (Guarantee) Ltd, or PLANT,  an initiative by the Wildlife and Nature Protection Society  of Sri Lanka, seeks to create uninterrupted or reasonably connected corridors of protected natural spaces and forest ecosystems, that safeguard Sri Lanka’s unique biodiversity.

  • Instagram
  • Facebook
  • LinkedIn

Search #wnpsplant to view all of our work!

bottom of page